කර්මය මට්ටු කරමු

පුනර්භවය ජ්‍යොතිෂ්‍යය තුළ මූලික සිද්ධාන්තයක් ලෙසින් කතා නොකළද ජන්මියකුගේ මේ ආත්මයේ බිඳවැටීම අවබෝධ කරගැනීම උදෙසා පෙර භවයන්හි ක්‍රියාකාරකම් හඳුනාගැනීම ඉතා සාර්ථක ක්‍රමයකි. මෙම ක්‍රමවේදය කර්ම ඵල ජ්‍යොතිෂ්‍යය ලෙසද හැඳින්වේ. මෙම ක‍්‍රමවේදයේදී මූලිකත්වය දෙනු ලබන්නේ තත්කාලයන්, ගෝචරයන්, උච්ච නීච තත්ත්වයන් හෝ ඒරාෂ්ටක තත්ත්වයන් උදෙසා නොවේ. පෙර ආත්මයන් හිදී තම ක‍්‍රියාකලාපයන් අනුව ඇතිවන සාප, දේව බාධා, බාධක තත්ත්වයන්ට මූලික අවධානය යොමු කරනු ලබයි.
සාප යනු අට වැදෑරුම් ආකාරයකට අපට කරදර ඇති කරන තත්ත්වයකි. එහිදී පෙර ආත්මයේදී ආගමික උපදේශකයන්, ගුරුවරුන්, මවුපියන් තම බිරිඳ හෝ සැමියා, තම නෑ පරපුර වෙතින් මෙන්ම තමා යටතේ සේවය කළ සේවකයන්ගෙන්ද සාප ඇතිවීම සිදුවේ. සැප ඇතිවීම යනු පෙර ආත්මයේදී අප ඔවුන් සමග සබඳතා පවත්වාගෙන ගිය අයහපත් ආකාරය මත ඇතිවන තත්ත්වයකි. මෙම සාපවල පවතින විශේෂත්වය මිනිසකු මෙලොවෙදී විඳින සෑම ක‍්‍රියාවකටම හේතු පාදක වන්නේ මෙම සාපයන් වීම නිසයි. ඒ අනුව බලන කල පූර්ව ආත්මීය සාප යනු නිශ්චිත සිදුවීමකි. අප මේ ලොව ඉපදුණු මොහොතේ සිට සියලූ ක‍්‍රියාවන් පාලනය කිරීමෙත් විනාශ කිරීමෙත් බලය සාපයන් හරහා ක‍්‍රියාත්මක වීම සිදුවෙයි. අපගේ සැප දුක තීරණය වනුයේ පූර්ව කර්මය අනුව යැයි පැවසෙනුයේ එබැවිණි. මෙහිදී හොඳින්ම අවබෝධ කරගත යුත්ත වනුයේ ග‍්‍රහයන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබන්නේ අප පෙර ආත්මයේදී සිදුකරන ලද පාපයන්ය.
අනෙක් කාරණය වන්නේ අප දන්නා ‘කළ කළ දේ පල පල දේ’ යන න්‍යාය මෙහිදී අදාළ නොවන අතර මවුපියන්ට පහරදීම හරහා මේ ආත්මයේදී තම රැකියාව බිඳ වැටීම හෝ තම දියුණුව ඇරඹීම උදෙසා මුලපිරීමට ඇරඹීමට බාධා මතුවීම සිදුවෙයි. පෙර ආත්මයේදී විවාහය තුළ තම බිරිඳගේ හෝ සැමියාගේ සතුට සැනසුම බිඳ දැමීම හේතුවෙන් ඇති වන කලත‍්‍ර සාපය උදෙසා මේ ආත්මයේදී දඬුවම් ක‍්‍රියාත්මක වීමේදී තම සාර්ථකත්වයට බාධා ඇතිවීම හෝ සමේ ගැටලූ ඇතිවීම ආදී කේන්ද්‍රයේ වෙනස්ම තැනකින් මෙය කි‍්‍රයාත්මක විය හැකිය.
මෙම තත්ත්වය අවබෝධ කරගතහොත් ඒ ඒ කාලසීමාව තුළදී ඇතිවන ගැටලූ අවබෝධ කරගැනීමේ ශක්තිය ලැබෙන අතර ඒවායින් මිදීමට අවශ්‍ය ශාන්තිකර්මවල යෙදීමේ හැකියාවද ලැබේ.
වෛදික ජ්‍යොතිෂ්‍යයට අනුව දැනුවත් භාවය, කැපවීම හා භක්තිය යන තුන එකතුවූ විට කර්මය ස්ථිරවම වෙනස් කළ හැකිය. කේන්ද්‍රයේ රාජ යෝග, මාලවි යෝග වැනි සුබ යෝග කොතරම් පැවතියත්, සුබ දශාවක් ගෙවී ගියද සුබ තත්ත්වයන් ක‍්‍රියාත්මක නොවීමට බලපාන ප‍්‍රධානම දෝෂ තත්ත්වය වනුයේද මෙම පූර්ව ආත්මීය සාප බාදක තත්ත්වයයි. මෙම තත්ත්වයන් අවබෝධ කරගනිමින් පිළියම් යොදා ගැනීම හරහා සෑම දශාවක්ම සුබ දශාවන් බවට පත්කර ගත හැකි වේ. එය ජන්මියාගේ කැපවීමෙන් කළ යුත්තක් මිස මිල මුදල් හෝ බලය මත කළ හැක්කක් නොවේ.
 
වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර