දිවියට බාධා ගෙනෙන බාධක ග‍්‍රහයා

‘මම පාරේ අයිනට වෙලා ගියේ, බ්රේක් නැති ත‍්‍රීවිල් එකක් ඇවිත් මාව හැප්පුවා. දැන් ඇවිද ගන්න බැහැ’ ‘පුතා හොඳට හිටියා. එක පාරම ඔළුවේ කැක්කුමයි කිව්වා. දැන් සිහියක් නෑ. දොස්තරලා තවම ලෙඬේ සොයා ගත්තේ නෑ’


‘අවුරුදු ගාණක් යාළුවෙලා ඉඳලා අපි කසාද බැන්දා. අපි සතුටින් හිටියේ සතියයි. අපි දැන් වෙන්වෙලා’ මේ අපේ සමාජය තුළ අසන්නට ලැබෙන පොදු විඳවීම් කිහිපයකි. මෙලෙස සිදුවන්නේ ඇයිද යන කරුණ පිළිබඳ අප සමාජයෙන් විමසූ විට ලැබෙන සරල උත්තරය ඔවුන්ගේ කර්මය නිසාය යන්නය. එහි සත්‍යතාවක් නැතුවාම නොවේ. වෛදික ජ්‍යොතිෂ්‍යයට අනුව අප මේ ආත්මයේ ගතකරන සෑම මොහොතක්ම නිර්මාණය වනුයේ, අපගේ පෙර ආත්මයන්හි ක‍්‍රියාකලාපයන් මතය. මෙම කර්මයන් නිෂ් කර්මයන් ලෙස හැඳින්වෙයි. මෙම කර්මයන් මත අපේ ජීවිතයේ ක‍්‍රියාකාරිත්වය නිර්මාණය වෙයි. නිෂ් කර්ම ප‍්‍රධාන කොටස් දෙකක් යටතේ අපේ ජීවිතයට දඬුවම් ගෙනෙනු ලබයි. ඉන් ප‍්‍රධානම ගැටලූව වනුයේ,

1. හඳුනාගත නොහැකි රෝගී තත්ත්වයන් හරහා අපේ ශරීරය පීඩාවට පත් කිරීමයි.

2. ගැටලූව හෝ ඇතිවන දිශාව අවබෝධ කරගත හැකි මනස ආශ‍්‍රිතව ඇතිවන ගැටලූ.

මෙම තත්ත්වයන් දෙක ක‍්‍රියාත්මක කරවීම උදෙසා ජන්මින්ගේ අශුභකාල සීමාවන් හේතුවෙයි. එහිදී එම කාලසීමාවන්හිදී ජන්මියෙකුගේ කර්මය උදෙසා දඬුවම් ක‍්‍රියාත්මකවීමට දොළොස් විධ බාධක ක‍්‍රියාත්මක වන බව ‘හරිහරයන්ගේ ප‍්‍රශ්න මාර්ගයේ’ සඳහන් වෙයි.

දොළොස් විධ බාධක හරහා කර්මය විඳවන අයුරු අපි අවබෝධ කර ගැනීමට උත්සහ දරමු.

බාධක ග‍්‍රහයා යනු ජන්මියකුට තම ජීවිත කාලය පුරාම විඳීමට සිදුවන ගැටලූවකි. මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ගේ එකොළොස්වැන්නාධිපති බාධක ග‍්‍රහයා වෙයි. වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ ලග්න හිමියන්ගේ නවවැන්නාධිපති බාධක ග‍්‍රහයා බවට පත්වෙයි. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලදී හත්වැන්නාධිපති බාධකයා බවට පත්වෙයි.

මෙසේ හඳුනාගනු ලබන ග‍්‍රහයා පළමුභාවයේ නම් ඔහු දැඩි ලෙස ශාරීරික රෝගී තත්ත්වයන් හරහා පීඩා විඳිනු ලබයි. මෙයට හේතුවනුයේ පෙර ආත්මයේදී දෙමාපියන්ට පහර දීමයි.

දෙවැනි භාවයේ නම් නිරන්තරව තම ආහාර වේල් මඟහැරෙන අතර, ආහාර විෂවීම මෙන්ම, ආසාවෙන් කෑමට හදන දෙය කෑමට නොහැකිවීම සිදුවෙයි. එයට හේතුවනුයේ පෙර භවයේදී දෙවියන් බුදුන් උදෙසා වෙන්කරන ලද ආහාර තම පරිහරණයට ගැනීමයි.

බාධක ග‍්‍රහයා තුන්වැනි භාවයේ නම් තම දියුණුව වර්ධනය උදෙසා ඇරඹීම මුල පිරීම පහසුවෙන් කළ නොහැකි වෙයි. එයට හේතුවනුයේ පෙර ආත්මයේදී සාමූහික කටයුතුවලට බාධා එල්ල කිරීමයි.

හතරවැනි භාවයේ නම් නිරන්තරව තම සිතේ සතුට, සැනසීම බිඳවැටෙයි. නිවාස පිළිබඳ ගැටලූ මතුවෙයි. පෙර ආත්මයේදී කුරුලූ කූඩු කඩා දැමීම හා මිනිසුන්ට පීඩා සිදුකිරීම මත මෙය ඇතිවෙයි.

අන් අයගේ හැකියාවන් අවතක්සේරු කිරීම හේතුවෙන් බාධක ග‍්‍රහයා පස්වැන්න තුළ තැන්පත් වෙයි. ඒ හරහා තම හැකියාවන් තුළින් අපේක්ෂා කරන වර්ධනය කිසිදු ලෙසක ලබාගත නොහැකි වෙයි.

බාධක ග‍්‍රහයා හයවැනි භාවයේ තැන්පත් වනුයේ පෙර ආත්මයේදී මිනිසුන්ට පහරදීම හේතුවෙනි. ඒ හරහා හේතු විරහිතව පහරකෑමට ලක්වීමත්, නිරන්තරව මිනිසුන්ගේ සතුරුකම්වලට මැදිවීමටත් සිදුවෙයි.

පෙර ආත්මයේදී ආදර සබඳතා කඩාදැමීම, ආදරය තුළින් අන් අය මුළාකිරීම ආදී ආදර සබඳතා මුල් කර ගනිමින් කරන කර්මයන් මත බාධක ග‍්‍රහයා හත්වැන්න තුළ තැන්පත් වෙයි. මේ හරහා සිදුවනුයේ විවාහය ප‍්‍රමාදවීම, විවාහය අසාර්ථක වීම හා සබඳතා බිඳවැටීමයි.

තම කටයුතු නිරන්තරව බිඳවැටීමත්, අණවින, හදිහූනියම් හා භූතදෝෂ හරහා තම ජීවිතය පීඩාවට පත්වීමටත් හේතු වනුයේ බාධක ග‍්‍රහයා අටවැනි භාවයේ තුළ තැන්පත් වීමයි. පෙර ආත්මයේදී මිනිසුන්ට සිදුකරන ලද දුෂ්ට පාප මෙයට හේතුවෙයි.

තමා අතින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳ සමාජයෙන් නිරන්තර දෝෂාරෝපණයට තමා ලක්වෙයි නම් එයට හේතුවනුයේ බාධක ග‍්‍රහයා නමවැනි භාවයේ තැන්පත් වීමයි. පෙර ආත්මයේදී පින්කරන අයට බාධා කරමින්, තම ධර්මතාවන් බිඳදමා කටයුතු කිරීම හරහා මෙම ගැටලූවට මැදිවීම සිදුවෙයි.

තම රැුකියාව, වෘත්තිය තුළ නිරතුරුවම බිඳවැටීම් හා ගැටලූ වර්ධනය වීමත්, එකදිගට එක කාර්යයක යෙදීමට නොහැකි වීමටත් හේතුවනුයේ පෙර ආත්මයේදී එක්ව කටයුතු කළ අයට බාධාවන් කරදර ඇති කිරීමයි. එවන් තත්ත්වයන් තුළදී බාධක ග‍්‍රහයා දසවැන්න තුළ තැන්පත් වෙයි.

තම අතට එන ධනය නිකරුනේ වැයවීම, මුදල් ඉතිරිකර ගත නොහැකිවීමට හේතුවනුයේ බාධක ග‍්‍රහයා එකොළොස්වැන්නේ තැන්පත් වීමයි. එයට හේතුවනුයේ පිනට යෙදවීමට වෙන්කළ මුදල් තම පරිහරණයට ගැනීමයි.

නිරතුරුවම හානිවීම, වැයවීම මෙන්ම අධික වියදම් දැරීමට සිදුවන රෝගී තත්ත්ව හා නඩුහබ ඇතිවෙයි නම්, එයට හේතුවනුයේ බාධකයා දොළොස්වැන්නේ තැන්පත් වීමයි. පෙර ආත්මයේදී ඇබ්බැහිවීම් හා නරක පුරුදු උදෙසා තම ධනය නිකරුනේ වැයකිරීම හේතුවෙන් මෙම දෝෂය ඇතිවෙයි.

අපි දොළොස්විධ බාධක ග‍්‍රහයාගේ ස්වරූපයන් පිළිබඳ අවබෝධ කර ගත්තෙමු. බාධක ග‍්‍රහයා ‘බාධකේෂ’ ලෙසද වෛදික ජ්‍යොතිෂ්‍යයේ හැඳින්වෙයි.

බාධක ග‍්‍රහයා කේන්ද්‍රයක් තුළ ඉතාමත් අශුභ ප‍්‍රතිඵල ඇතිකරන ග‍්‍රහයා බවට පත්වන අතර, අප පෙර සඳහන් කළ බාධක වර්ග දොළසෙන් ඉතුරු එකොළහම ඇති කිරීමට මොහු මුල්වෙයි.

මිනිසුන් පෙළන, මිනිස් ජීවිත වනසන, සාර්ථකත්වය බිඳහෙළන බාධක දොළොස මෙසේය.

1. බාධක ග‍්‍රහයා

2. දේව බාධක

3. ධර්ම දේව දෝෂ

4. සර්ප දෝෂ

5. පිත‍්‍රී‍්‍ර බාධක

6. ප‍්‍රවිජ දෝෂ

7. බ‍්‍රාහ්මණ දෝෂ

8. පේ‍්‍රත පිසාච බාධක

9. භූත පිසාච බාධක

10. දෘෂ්ටි බාධක

11. පූර්ව ආත්මීය සාප

12. දුෂ්ට පාප දෝෂ

සෑම මිනිසකුගේම උත්පත්තියට හේතුවනුයේ පෙර ආත්මයේ පුණ්‍යකර්ම වුවත්, උත්පත්තියෙන් පසු විඳීමට සිදුවනුයේ තම අකුසල කර්මයන්ය. එයට හේතුවනුයේ පින් ක්ෂයවෙමින් යෑමත්, පව් වර්ධනය වෙමින් පැවතීමත්ය. බාධක ග‍්‍රහයා විසින් සිදුකරනුයේ අවස්ථානුකූලව තමාට දඬුවම් ක‍්‍රියාත්මක කළයුතු ආකාරය තීරණය කරමින් කටයුතු කිරීමයි.

බාධක ග‍්‍රහයාගේ බලපෑමෙන් මිදීමේ ක‍්‍රමවේදද වෛදික ජ්‍යොතිෂ්‍යය තුළ දක්වා ඇති අතර, එහිදී මූලික වශයෙන් කර්මයෙන් මිදීමේ ක‍්‍රම තුනක් පිළිබඳ සඳහන් එහි පළමුවැන්න වනුයේ කර්මය පිළිබඳ දැනුවත් භාවයයි. එනම් පෙර ආත්මයේදී කළ දෙය හා මේ ආත්මයේදී තමා විඳවන දෙය තේරුම් ගැනීමයි. දෙවැන්න වනුයේ කැපවීමයි. යම් ජ්‍යොතිෂමය ක‍්‍රමවේදයක් මත කැපවෙමින් ‘මම කර්මය වෙනස් කර ගනිමිය’ යනුවෙන් ක‍්‍රියාත්මක වීමයි. තුන්වැන්න වනුයේ භක්තියයි. මේ තුන එක්තැන්වූ කල තම පූර්ව කර්මය මෙන්ම බාධක ග‍්‍රහයාද පාලනය කළ හැකිවෙයි.

බාධක ග‍්‍රහයා ජය ගැනීම යනු ජීවිතය ජය ගැනීමයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත් මනමේන්ද්‍ර