කාර්ය බහුලත්වය හා ජ්‍යෙතිෂයේ අවභාවිතය

වර්තමාන සමාජයේ වැදගත් හා සුභ යයි සැලකෙන සියලු කටයුතු සඳහා බහුතරයක්‌ දෙනා ජ්‍යෙතිෂය භාවිත කළද කාර්ය බහුලත්වය නිසා සහ පවතින තරගකාරී සමාජ තත්ත්වය නිසා එහි නියම ප්‍රතිඵල ලබා ගැනීමට අසමත් වී තිබේ.
ශුභ කටයුතු සඳහා ශුභ වේලාවක්‌ හෝ නැකතක්‌ සෑදීමේදී පංචාංග ශුද්ධිය ගැන සැලකිය යුතු වුවද වර්තමානයේ දී එම කරුණු වලින් කිහිපයක්‌ පමණක්‌ සලකා බලයි.
දිනය, නැකත, තිථිය, යෝගය හා කරණය යන කරුණු පහ පංචාංගය ලෙස සැලකෙන අතර පංචාංග ශුද්ධිය තිබීම ශුභ නැකතක්‌ සෑදීමේදී ඉතා වැදගත් වේ. නමුත් වර්තමාන සමාජයේ භාවිත වන
නැකැත් වේලාවන් හා දින සැලකීමේදී ඒවායේ ප්‍රධාන අංග අමතක කොට ඇති බව පෙනේ. මෙසේ වීමට ප්‍රධාන හේතුවක්‌ වෙයි. එනම් අද ශුභ කටයුත්තක්‌ සඳහා නැකතක්‌ සෑදීමට යැමට ප්‍රථම ඒ සඳහා දිනයක්‌ හා ස්‌ථානයක්‌ වෙන්කර ගෙන එම දිනයට අදාල
ශුභ වේලාවක්‌ ලබා ගැනීමේ අදහසින් ජ්‍යෙතිර්වේදියෙකු වෙත යයි. ඔහු වෙතට එන සේවා දායකයා මට අහවල් දිනට ශුභ නැකතක්‌ සාදාදෙන ලෙස ඉල්ලා සිටී. විවාහ මංගල්‍යයක්‌ සඳහා නම් හෝටලයක්‌ හා දිනයක්‌ වෙන්කර ගෙන ඒ සඳහා අත්තිකාරම් මුදල් ද බැඳ පසුව ජ්‍යෙතිර්වේදියෙකු වෙත පැමිණ ශුභ නැකතක්‌ ඉල්ලා සිටී. මෙවැනි අවස්‌ථා වල අතලොස්‌සක්‌ දෙනා හැර අනෙක්‌ ජ්‍යෙතිර්වේදීන් එදිනට ශුභ නැකැත් හා
වේලාවන් ලබා දෙයි, සේවා දායකයාද එයින් තෘප්තිමත් වේ.
නමුත් එම වේලාව සෑම අතින්ම අශුභ වේලාවක්‌ ද විය හැකිය. මන්ද එවැනි අවස්‌ථාවක ජ්‍යෙතිර්වේදියා ලබා දෙනුයේ එදිනට අදාල ශුභ හෝරාවක්‌, පංචම කාල හෝරාවක්‌ හෝ සූක්‍ෂම කාල හෝරාවක්‌ පමණි. අංග පහම අශුභ විය හැකිය. මෙය ජ්‍යෙතිෂය අවභාවිතයක්‌ ලෙසද සැලකිය හැකිය.
උපන් දිනය හා වේලාවට අනුව කේන්දරයක්‌ සෑදීමට ගත වනුයේ විනාඩි කිහිපයක්‌ පමණක්‌ වුවද ශුභ නැකතක්‌ සෑදීම ඉතාම අසීරු කරුණක්‌ බව බොහෝ දෙනා නොදනී.
සෑම අතින්ම ශුභ හා ගැලපෙන නැකතක්‌ සෑදීම ඉතාමත් අසීරු කරුණකි. එබැවින් ප්‍රධාන අංශ කිහිපයක්‌ පමණක්‌ සලකා වර්තමානයේ ශුභ නැකත් සාදයි.
කෙනෙකුට ශුභ නැකතක්‌ තවත් අයෙකුට ශුභ නොවිය හැකිය. ඒ තමන් උපන් නැකත හා සීහුම් නොවන බැවිනි. මේ බව නොදත් සමහරු පුවත්පත් වල සඳහන් වන ශුභ නැකත් භාවිත කරයි. සාමාන්‍යයෙන් ශුභ නැකතක්‌ සඳහන් කිරීමේදී එම නැකත සීහුම් වන නැකැත් සඳහන් කරයි. නමුත් පුවත් පත් කියවන පාඨකයා එම කරුණු ගැන නොදන්නා කමින් එය මග හරී. සමහර පුවත් පත්වල ශුභ නැකැත් සඳහන් කිරීමේදී එයට සීහුම් වන නැකත් සඳහන් නොවන
අවස්‌ථා ද ඇත. එය බරපතළ වරදකි.
වර්තමානයේ කාර්ය බහුලත්වය නිසාම නැකතක්‌ සාදා ගැනීමට යන සේවාදායකයා විනාඩි කිහිපයක්‌ තුළ එය ලබා ගැනීමේ අදහසින් යුතුව ජ්‍යෙතිර් වේදියා වෙත යයි. එහිදී ජ්‍යෙතිර්වේදියාට මග හැරෙන කරුණු තිබේ. මා දැක ඇති සමහර නැකත් වල හෝරාව ලෙස තෝරාගෙන ඇත්තේ නැකත භාවිත කරන පුද්ගලයාගේ විසිදෙවන දෙර්කාණාධිපතියාගේ හෝරාවයි. එය ශුභ නොවේ. සමහර නැකත් වලදී එදිනට විශේෂ ග්‍රහයෝග නොතිබුණු
අවස්‌ථාවල පවා අශුභ යෝග (දග්ධ යෝග, මර යෝග) සහිත දින තෝරාගෙන තිබුණි.
එවැනි දේවල් නිසා ජ්‍යෙතිෂය පිළිබඳ දුර්මත ඇතිවිය හැකිය. මන්ද ශුභ වේලාවක්‌ කියා ජ්‍යෙතිර්වේදියා දී තිබෙන්නේ අශුභ වේලාවක්‌ නිසායි. එවැනි ශුභ කටයුත්තකින් ශුභ ප්‍රතිඵල ඇති නොවීම නිසා ජ්‍යෙතිෂය භාවිතා කරන්නන් අතර එයට ඇති පිළිගැනීම අඩුවේ.
සමාජයේ කාර්ය බහුලත්වය සමඟ ජ්‍යෙතිෂය අවභාවිතය කිසිසේත්ම අනුමත කළ නොහැක. තමාට තම සේවා දායකයා පවසන දිනක ශුභ නැකතක්‌ සාදා දිය නොහැකි නම් ඒ බව සේවා දායකයාට පවසා හරවා යවනු මිස ශුභයයි පවසමින් අශුභ වේලාවක්‌ ලබාදීම ජ්‍යෙතිෂ වේදියෙකුට කිසිසේත්ම සුදුසු නොවේ. සේවා දායකයා ද මතක තබා ගත යුතු කරුණක්‌ වේ. එනම් සුභ කටයුත්තකට පෙර සුදුසු දිනය හා වේලාව ලබාගෙන එයට අනුව කටයුතු සංවිධානය
කිරීමයි. තවද ජ්‍යෙතිෂ වේදියාට බලපෑම් ඇතිකර ලබාගන්නා වේලාව ශුභ වේලාවක්‌ නොවන බවද මතක තබා ගත යුතුයි.
අද සමාජයේ වැඩි පිළිගැනීමක්‌ ඇත්තේ සේවාදායකයා දෙන දිනයට ශුභ නැකත් සාදා දෙන ජ්‍යෙතිෂ වේදීන්ට වේ. නමුත් එමගින් ජ්‍යෙතිෂයට සිදුවනුයේ අවැඩකි. ඒ බව සමාජය තේරුම් ගතයුතුයි. මන්ද ජ්‍යෙතිෂය යන විද්‍යාව ඉතා ඈත අතීතයේ සිට අද දක්‌වාම මෙතරම් පිළිගැනීමක්‌ සහිතව පැවත එන්නේ එහි ඇති සත්‍යතාවය සමාජයට දැණුනු නිසාවේ. වර්තමානයේ තත්ත්වය අනුව ජ්‍යෙතිෂයේ සත්‍යතාවය සමාජයට නොදැනීමෙන්
එය පරිහානියට පත්විය හැකිය. එබැවින් ජ්‍යෙතිෂය ගැන උනන්දුවන හා එයට සම්බන්ධ සියලු දෙනා එය රැක ගැනීමට එක්‌විය යුතුය