චරිතයක වගතුග අත්අකුරෙන් සොයා බලමු


මිනිස්‌ සිතෙහි පවතින චිත්ත-චෛතසික බලය සිරුරපුරා පවතින විවිධ ක්‍රියාකාරකම් කෙරෙහි බලපා ශුභා ශුභ ප්‍රතිඵල විදහා දැක්‌වෙනු ඇත. මිනිසා හා බැඳී ක්‍රියාකරි ස්‌වභාවය අත් අකුරු තුළින්ද විද්‍යමාන වෙන්නේය. ඩෙරෙක්‌ ඩාවිස්‌ නම් ගවේෂකයාගේ ප්‍රකාශනය වූයේ යම්බදු විද්‍යාත්මක පදනමක බැඳී අත් අකුරු අපූර්වාත්මක ස්‌වරූපයක්‌ ගනු ලබන බවකි. විදෙස්‌ රටවල අත්අකුරු අරභයා විශේෂ අවධානය යොමු කෙරෙන බවද පෙනෙයි. වංචනික චෙක්‌පතක්‌ වරක්‌ පොලිසියට ලැබී අත් අකුරු පිළිබඳව ඩාවිස්‌ගෙන් යමක්‌ ප්‍රකාශ කරන ලෙස ඔහුට දැන්වීය. ඔහු කීවේ මේ වනවිට චෙක්‌පත ලීව පුද්ගලයා ජීවිතය අතහැර ගිය බවයි.


හෘදය වස්‌තුවේ ක්‍රියාකාරිත්වය ද රුධිර සංසරණය ද මානසික ස්‌වභාවය ද අත් අකුරු ශාස්‌ත්‍රයෙන් ප්‍රකාශ කළ හැක. යමෙකුගේ චණ්‌ඩපරුෂත්වය, ඊර්ෂ්‍යාව, වෛරය, කුඩුකේඩු බව, ක්‍රෝධය, ශෝකය, ත්‍රාසය, භීතිය, සංතාපය පිළිබඳව අත් අකුරෙන් පැහැදිලි කළ හැකිය. අත් අකුරු අපැහැදිලිව ලිවීමෙන් තරග විභාග අසමත් විය හැක. ලෝ පතළ ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි කාව්‍ය නිබන්දයකු වූ ෂේක්‌ස්‌පියර් කවියා ඉතාම අවලස්‌සනට අකුරු ලියූ කෙනකු බවට චිර ප්‍රකට වූවෙකි. එච්. ජී. වේල්ස්‌ගේ අත් අකුරු කියවීමට හැකිවූයේ ඔහුටත්, ඔහුගේ ලිපිකරුටත් පමණකි. පාට හුනුකූරුවලින් ලිවීම කළ ජෙම්සන් ජොයින්ගේ අත් අකුරු ඉතාම අශෝභන විය. ලෝක සංග්‍රාමය පැවැති අවධියේ ලියූ යුලිසීස්‌ නමැති ඔහුගේ කුළුඳුල් කෘතියෙහි අත් අකුරු නිසා ඔහු රහස්‌ ඔත්තුකරුවෙකැයි සැකකොට පරීක්‍ෂණයකට ද භාජන කෙරිණි.

අත්අකුරු කෙරෙන් විවිධ පැතිකඩ

කුමානුකූල වූද පැහැදිලි වූද අක්‍ෂර (අකුරු) ලියනුයේ තිරසාර හැඟීම් සමුදායකින් ද දැඩි වූ අදිටන් ශක්‌තියකින්ද අනුන වූ අයකුගේ ක්‍රමවේදය වෙන්නේ ය. නිර්ලෝභි අවංක සරල සහන් ජීවනමය රටාවකට මොවුන් උපතින්ම දායාදකොට ගත් පිරිසක්‌ ලෙස හඳුන්වාදීමට හැක. අත් අකුරු දකුණට බරව ලියනුයේ පරිත්‍යාගශීලී සානුකම්පිත හදවතක්‌ ද ඇති යුක්‌තිගරුක නීති ගරුක උදවියයි. වංචනික කපටි කෛරාටික උදවිය අත් අකුරු වමට බරව ලියයි. තැන්පත් නිහඬ සාධාරණ ගති පැවැතුම් ඇති පිරිස්‌ අත් අකුරු උල්වූ තියුණු බවක්‌ විදහා දක්‌වනු ලබයි. කියවීමට අපහසු වූ අත් අකුරු ලැ-ජාශීලි මිතුරු මිතුරියන් ඇතිකර ගැනීමේ දක්‍ෂතා ඇති උදවියගේ අකුරු ලෙස පෙනෙයි. මිත්‍රශීලී බව කාරුණිකත්වය, ලෙන්ගතු බව රැඳී ඇති උදවියගේ අක්‍ෂර සැඟවුණ අකුරු ලෙස ලියයි. ඔවුන් බුද්ධිමත් දූරදර්ශී වූ උදවියයි. සිතිවිලි කෙරෙහි වහල් වූවන් සෘජු ආකාරයට අත් අකුරු ලියයි. කෙළින් අකුරු ලියන්නෝ තීරණ ගැනීමේදී හදවතට එකඟ නොවන සුලුවෙයි. ඉතා කුඩා අකුරු ලියනුයේ චිත්තන ශක්‌තියෙන් අනුන වූ උදවියයි.

ලොකුවට අකුරු ලියනුයේ විශාල හිත මිතුරන් පිරිසක්‌ සිටින උදවියයි. ඔවුන්ගේ තරාතිරම ඔවුන්ට ප්‍රශ්නයක්‌ ද නොවෙනු ඇත. ස්‌වකීය හැඟීම් අන්‍යයනට පැවසීමේ විලිබිය ඇත්තවුන් ඇළවූ අකුරු ලියයි. කෝණාකාර අක්‍ෂරකරණය ප්‍රබල බව දර්ශනය කරවීමකි. උතුවන් කන්දේ සූර සරදියෙල් මරන්න එපා, අත්හරින්න. යනුවෙන් අධිරාජ්‍යවාදී එංගලන්ත කිරීටයෙන් ලැබුණ විදුලි පණිවිඩය කඩුගන්නාවේ තැපැල් හලකින් ලියවුණේ උතුවන්කන්දේ සූර සරදියෙල් මරන්න. එපා අත්හරින්න යනුවෙනි. අකුරු ලිවීමේ දී තිත කොමාව පවා නිවැරදිව හැසිරවිය යුතුවෙයි. නැතිනම් ප්‍රතිඵල බිහිසුණු විය හැක.