භාව (Houses)

බොහෝමයක් වේදීය ජ්‍යෝතිෂ්‍ය සම්ප්‍රදායන් තුළ රාශි චක්‍රයේ සීමාවන්ම භාවයේ සීමාවන් ලෙස භාවිතා කරයි. එනම් රාශිය ආරම්භවන අංශක 0 සිට 30 දක්වා පරාසය තුළ භාවය බෙදී යන බව දක්වා ඇත. තවත් ක්‍රමයකින් කියනවානම් සෑම රාශියක්ම භාවයක් නිවේදනය කරයි. සෑම භාවයක ආරම්භය රාශියේ ආරම්භයට සමපාතව ලබා ගනී. පළමු භාවය අපට ඕනෑම ලග්නයකට අනුව ගණනය කළ හැකියි. බොහෝ විට භාවය යන්න උදාලග්නයට අනුව ගණනය කරයි. ඒ අනුව තුලා රාශියෙන් උපන් අයෙකුගේ පළමු භාවය වන්නේ තුලා රාශිය යි. දෙවෙනි භාවය වන්නේ වෘශ්චික රාශිය යි. 12 වෙනි භාවය වන්නේ කන්‍යා රාශිය යි.
සෑම භාවයක්ම යම් කරුණක් නිවේදනය කරයි. මෙම භාව සියල්ල ජ්‍යොතිෂ්‍යයේ මූලිකම න්‍යාය වන උත්පාද තිථි භංග න්‍යායට යටත් බව ආධුනිකයා වටහා ගත යුතු ය. පළමු භාවය පෝෂණය කිරීම දෙවැනි භාවය විසින් සිදු කරයි. එහි වැය වීම දෙවැනි භාවයෙන් සිදු කරයි. ඒ නිසා ලග්න භාවය සෑම විටම පුද්ගලයා නිරූපණය කරන අතර දෙවැනි භාවය පුද්ගලයා පෝෂණය කරනු ලබන ආදායම, පවුල(කුටුම්බය) ආදී කාරණා නිවේදනය කරයි. එසේම දොළොස් වෙනි භාවය විසින් ඔහුගේ වියදම්, අසනීප වීම්, ලෙඩ රෝග ආදිය නිවේදනය කරයි. දෙවැනි භාවය පෝෂණය කරන්නේ තුන්වෙනි භාවයෙනි. තුන්වන භාවයෙන් නිවේදනය කරන්නෙ දෙවැනි භාවය පෝෂණය කරනා කරුණු ය. මේ ආකාරයට භාව දොළහ තුළ නිවේදනය කරන කරුණු එකිනෙක බැඳි චක්‍රයක් සේ ගමන් කරයි. එක් එක් භාවය විසින් නිවේදනය කරනු ලබන කාරණා, හිතලුවක් සේ ඔහේ ගොනු කර නැත. එය පැහැදිලිවම කලින් සඳහන් කළාක් මෙන් ඇතිවීම පැවතීම සහ නැතිවීම යන විශ්ව නීතියට අනුව එකිනෙක බැඳී පවතී.
වේදීය ජ්‍යොතිෂයේදී භාව ගණනය කරනු ලබන ක්‍රම දෙකකි.
පළමු ක්‍රමය
භාවයක් යනු සලකනු ලබන ලක්ෂයක් (වස්තුවක්) පිහිටි රාශියක සිට අනෙක් රාශියට ඇති රාශි ගණන වේ.
උදාහරණයක් ලෙස එම සලකනු ලබන ලක්ෂය ලග්නය නම් ලග්නය පිහිටි රාශිය 1 වන භාවය වේ. ලග්නය මකර රාශිය වේ නම් මකර රාශිය පළමුවන භාවය වේ. ඒ නිසා දෙවන භාවය වනුයේ කුම්භ රාශියයි. මේ ආකාරයටම ධනු රාශිය 12 වන භාවය වන බව අවබෝධ කරගත හැකිය. විශේෂයෙන් සදහන් කර නොමැති අවස්ථා වලදී 1 වන භාවය වනුයේ උදා ලගින පිහිටි රාශියයි. බොහෝ අවස්ථාවන් වලදී ලග්නය හැරුණු විට සඳු සිටි රාශිය (ජන්ම ලග්නය) හෝ රවි සිටි රාශියද ඒ ඒ අවස්ථාවන් හීදි අවශ්‍යතාවය මත යොදාගනු ලබයි.
පෙර චක්‍ර පිළිබද ලිපියේ භාව කියා හදුන්වනු ලැබූයේ ඉහත සදහන් පදනම මතය.
දෙවන ක්‍රමය (සම භාව)
ලග්න ස්ඵුටයේ සිට අංශක 15 ක් ඉදිරියට හා අංශක 15 ක් පසු පසට ඇති කොටස භාවය ලෙස ගැනීම.
මෙම ක්‍රම දෙකෙන් භාවිතා කළ යුත්තේ කුමක් ද යන්න ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වේ. කෙසේ වුවත් වැඩිමනක්ම භාවිතා වනුයේ පළමු ක්‍රමය යි.
 බටහිර ජ්‍යොතිෂය, ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය, සිරිපති භාව කේන්ද්‍ර සඳහා යොදාගනු ලබන භාවයන් මූලික වේදීය භාව සමඟ පටලවා නොගත යුතුය.

 ලග්න භාවය හා අනිකුත් භාවයන් නිවේදනය කරන කරුණු ගැන දැන් අපේ අවධානය යොමු කරමු.
පළමු භාවය (ලග්නය)
දේහය, භාහිර පෙනුම, බුද්ධිය, ශරීර ශක්තිය බලය, දුබලතාවයන්, ප්‍රීතිමත් බව හෝ දුක, උත්පත්තියෙන් ලබන ගති හෝ හැකියාවන්
ශරීර ස්ථාන: ශරීරයේ ඔලුව සහ හිසකේ 
දෙවන භාවය (කුටුම්බ ස්ථානය)
ධනය, ආහාර, පවුල, සතුරන්, ලෝභ, මැණික් ගල්
ශරීර ස්ථාන: මුහුණ, දකුණු ඇස සහ නාසය
තෙවන භාවය (වික්‍රම ස්ථානය)
සටන්කාමී බව, සේවකයින්, සොයුරු සොයුරියන්, විධානයන්, ගමන් බිමන්, දෙමව්පියන්ගේ මරණය
ශරීර ස්ථාන: දකුණු කන, අත් උගුර, ස්නායු පද්ධතිය සහ නාඩි පද්ධතිය
හතරවන භාවය (හෘද ස්ථානය)
නිවාස සහ වාසස්ථාන, ඥාතීන්, මව, සතුට, භාණ්ඩාගාරය, ඉඩකඩම්
ශරීර ස්ථාන: පපුව
පස්වන භාවය
යන්ත්‍ර / කවචය (amulet), මන්ත්‍ර, ඉගෙනීම, බුද්ධිය, අයදුම් කිරීම, තත්වයෙන් පහත වැටීම සහ පරිපාලනයට ඇති හැකියාව (Management)
ශරීර ස්ථාන: බඩ, ගර්භාෂය සහ පෙකෙනිවැල
හය වන භාවය (සතුරු ස්ථානය)
සතුරන්, තුවාල, සුළු මව ( හෝ මාමාගේ මරණය – මෙය මතභේදයට ලක්ව ඇති කරුණකි)
ශරීර ස්ථාන: යටි බඩ සහ උකුල 
හත්වන භාවය (කලත්‍ර ස්තානය)
බිරිඳ, ගමන්, වෙළඳාම, යම් කිසි කරුණක් දෘශ්ටියෙන් මෑත් වීම (Loss of sight), මරණය
ශරීර ස්ථාන: ප්‍රජනන පද්ධතිය සහ ලිංගික අවයව
අටවන භාවය
ආයුෂ, යුද්ධය හෝ තරඟය, සතුරන්, බලකොටුව, මියගිය අයගේ ධනය, අතීත හා අනාගත භවයන් පිළිබඳ දැනුම
ශරීර ස්ථාන: ගුදය
නවවන භාවය (දර්ම ස්ථානය)
වාසනාව, බිරිඳගේ සොයුරා, ආගම, සොයුරාගේ බිරිඳ, වන්දනා ගමන්, ශුද්ධ භූමි
ශරීර ස්ථාන: කලවා
දසවන භාවය (කර්ම ස්ථානය)
රාජකීයත්වය සහ අධිකාරිය (Royalty / Authority ), මාළිගාව, රැකියාව හෝ වෘත්තිය, ස්ථාවරත්වය, ගෞරවය, පියා, විදේශයන්හි ජීවත් වීම, ණය
ශරීර ස්ථාන: දනහිස්
එකොළොස්වන භාවය (අය ස්ථානය)
පුත්‍රයාගේ බිරිඳ, ආදායම, සෞභාග්‍යය, සිව්පාවන්, ලබන්නා වූ විවිධ දේවල්
ශරීර ස්ථාන: වලලුකර සහ විළුඹ
දොළොස්වන භාවය (වැය ස්ථානය)
වියදම්, සතුරන්ගේ ඉතිහාසය, තමාගේ මරණය
ශරීර ස්ථාන: පාද
එක් එක් භාවයෙන් නිවේදනය කරන කරුනු ඉතා දීර්ග ලෙස විස්තර දැක්විය හැකිමුත් ඉහතින් දක්වා ඇත්තේ සංශිප්තට සටහනක් පමණක් බව සලකන්න.


http://www.sinhalaastrology.com/2013/06/06/%E0%B6%B7%E0%B7%8F%E0%B7%80-houses/

No comments:

Post a Comment