චක්‍ර

යම් කිසි මොහොතක ග්‍රහ පිහිටීම ආදිය සටහන් කිරීමට විවිධ චක්‍ර භාවිතා කරයි. ඒ මොහොත සදහා සකස් කරන ලද කේන්ද්‍ර සටහනක් මෙසේ චක්‍රයක් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය. මෙසේ යම් කිසි පුද්ගලයෙකුගේ උපන් වෙලාව සදහා සකස් කරන කේන්ද්‍ර සටහනට ජන්ම පත්‍රය යැයි කියමු. වේදීය ජ්‍යොතිෂයේදී ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර සටහන් (චක්‍ර) ක්‍රම තුනක් භාවිතා වේ.
  • බ්‍රිඟු චක්‍රය (Diamond chart)
  • සූර්ය චක්‍රය (Sun chart)
  • ගුරු චක්‍රය (South Indian Guru Chart)

බ්‍රිඟු චක්‍රය (Diamond chart)

සිකුරු චක්‍රය නමින් ද හඳුන්වයි


ඉහත දැක්වෙනුයේ බ්‍රිඟු චක්‍රයකි. එහි ඉහල මැද ‘ගු’ අක්ෂරය සහිත කොටස එහි පළවෙනි භාවය ලෙස හදුන්වයි. එහි පහලට වන්නට ’10’ ලෙස සටහන්ව ඇත්තේ මේ භාවය මේෂ රාශියේ සිට කීවෙනි රාශියද යන වගයි. ඒ අනුව බොහෝ විට (විශේෂයෙන් සදහන් නොකර ඇති විට) එය කේන්ද්‍ර සටහනේ උදා ලග්නය දක්වයි. ඉහත උදාහරණ සටහනට අනුව එය ’10’ වන රාශිය වන මකර රාශියයි. එනම් ඉහත සටහන මකර ලග්නයට අදින ලද සටහනකි. මෙහි රාශින් වාමාවර්ථව  සටහන් කරන අතර පලවන භාවයේ සිට ක්‍රමයෙන් දෙවන හා තුන්වන භාව වාමාවර්ථව දොළොස්වන භාවය දක්වා දැකගත හැක. ඉහත උදාහරණයට අනුව 11 වන රාශිය වන කුම්භය දෙවන භාවය වන අතර 12 වන රාශිය වන මීන රාශිය තුන්වන රාශිය වේ. මේ ආකාරයටම 12 වන භාවය වනුයේ 9 වන රාශිය වන ධනුව වේ.
මෙසේ සටහන සකස් කරගත් පසුව ඒ ඒ රාශීන් වල සිටි ග්‍රහයන් හා ලක්ෂයන් ඒ ඒ භාවයන් තුළ දක්වයි.

සූර්ය චක්‍රය (Sun chart)
සූර්ය චක්‍රය ශ්‍රී ලංකාවේ වැඩිපුරම භාවිතා වන චක්‍රයයි. නමුත් එහි ග්‍රහයන් පිහිටවන ආකාරය ඉන්දියාවේ භාවිතාවන ක්‍රමයට වඩා වෙනස්ය. මේ නිසා ආධුනිකයා අපහසුතාවයට පත්වීම මගහැරීමට ඒ ක්‍රම දෙකම මෙහි ඇතුළත් කරමි.
ශ්‍රී ලංකාවේ භාවිතා කරන සූර්‍ය චක්‍රය (නමුත් නිවැරදි නොවේ)
නිවැරදි සූර්‍ය චක්‍රය නොවූවත් ශ්‍රී ලංකාව තුල භාවිතා වෙන්නේ මෙම චක්‍රය යයි.


ඉහත බ්‍රිඟු චක්‍ර උදාහරණයට ගත් කේන්ද්‍ර සටහනම මෙහි සූර්ය චක්‍රයෙන් දක්වා ඇත. මෙය බොහෝ දුරට බ්‍රිඟු චක්‍රයට සමාන වන අතර පළවන භාවයේ රාශිය මැද කොටුව ලියා දක්වනු ලබයි. මෙහිද භාවයන් වාමාවර්ථව දක්වනු ලබයි. ඒ අනුව ‘ගු’ අක්ෂරය ඇති භාවය 1 වන භාවය වන බවත් එය මකර රාශියට අයත් බවත් ‘ච’ අක්ෂරය සහිත කොටුව දෙවන භවය බවත් එය කුම්භ රාශියට අයත් බවත් වටහා ගැනීම අපහසු නොවේ. සමහර ජ්‍යොතිෂය වේදීන් විසින් මෙහි යම් කිසි භාවයක කිසිදු ග්‍රහයෙකු නොමැති නම් එම භාවයේ අංකය එහි සටහන් කරනු ලබයි. ( ඉහත බ්‍රිඟු චක්‍රයෙන් සටහන් කරනු ලැබුවේ රාශි අංකයයි) නමුත් මෙසේ අංක දැමීම වැරදි ක්‍රමයකි. පලවෙනි භාවය තුල ග්‍රහන් නැති විට එය තුල 1 ඉලක්කම තිබුනද නැතිවුවද එය පළමු භාවය බව සියළුම ජ්‍යෝතිෂ්‍ය වේදීන් දන්නා කරුණකි. නමුත් පලමු කුමන රාශියද යනවග දැක්වීම වඩා ඵලදායික වේ. කෙසේ වුවත් නිවැරදි ක්‍රමය මෙය ලෙස ඔබ දැන සිටියද ශ්‍රී ලංකාව තුල කාලයක් ගොඩනැගී ඇති සාමප්‍රදායන් වෙනස් කිරීම අපහසුයි. ඒ නිසා ඔබ කේන්ද්‍ර සටහනක් තබන විට ලංකාවේ සම්මත ක්‍රමයට (ඉහත රූප සටහනේ ආකාරයට) සටහන් තැබුවාට වරදක් නැත.

ඉන්දියාවේ භාවිතා කරන සූර්ය චක්‍රය (නිවැරදි ක්‍රමය)

නිවැරදි සූර්‍ය චක්‍රය. ඉන්දියාවේ භාවිතා කරන්නෙ මෙම ක්‍රමය යි.


මෙම සටහනේ විශේෂත්වය එහි ඉහල මැද ‘රා’ අක්ෂරය සහිත කොටස සෑම විටම මේෂ රාශිය වීමයි. ඒ අනුව වාමාවර්ථව පිළිවලින් මේෂ වෘෂභ ආදී රාශින් දක්වයි. මෙහි පළමු භාවය හෙවත් ලග්න භාවය දැක්වීම සදහා එය විශේෂයෙන් ලකුණු කරනු ලබයි. ඒ සදහා මෙම As (Ascendant යන අරුතින්) ලෙස දක්වා ඇත. මේ සදහා සිංහලෙන් ‘ල’ අක්ෂරය හෝ ලග්නය ලෙස දැක්විය හැකිය. ඉහත සටහනට අනුව ‘As’ යන්න 10 වන රාශිය වන මකර රාශියේ ඇති නිසා මෙම සටහන මකර ලග්නය වන සටහනක් බව පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මෙහි 1 (මේෂ), 7 (තුලා), 4 (කටක),  සහ 10 (මකර) රාශීන් චතුරශ ආකාරයෙන් දක්වා ඇත.

ගුරු චක්‍රය (South Indian Guru Chart)


ඉන්දියාවේ භාවිතා කරන සූර්ය චක්‍රය මෙන්ම මෙහිද රාශි පදනම මත ග්‍රහයන් පිහිටවයි. මෙහි ඇති විශේෂත්වය වනුයේ රාශීන් දක්ෂිණාවර්තව දක්වා තිබීම යි. මෙහි අංක දැමීම සිදු කරනුයේ භාව පදනම මතය. සෑම විටම ඉහල වම් කෙලවරේ මීන රාශය වන අතර පිළිවලින් වමේ සිට දකුණට මීන, මේෂ, වෘෂභ, මිථුන රාශීන් ද ඉහල දකුණු කෙලවරේ සිට පහළට මිථුන, කටක, සිංහ සහ කන්‍යා රාශී ද පහල දකුණු කෙලවරේ සිට වම් කෙලවර දක්වා කන්‍යා, තුලා, වෘශ්චික, ධනු යන රාශීන් ද පහල වම් කෙලවරේ සිට ඉහලට මකර, කුම්භ, මීන යන රාශීන් වේ. ‍ඉහත උදාහරණ රූප සටහනේ ‘රා’(රාහු) අක්ෂරය දක්වා ඇත්තේ මේෂ රාශියේ බවත් එය උදා ලග්නයේ සිට 4වන භාවය වන බවත් පැහිදිලි කරගත යුතුය. ඉහත ඉන්දියාවේ භාවිතා වන සූර්ය චක්‍රයේදී මෙන් මෙහි පළමු භාවය හෙවත් ලග්න භාවය දැක්වීම සඳහා එය විශේෂයෙන් ලකුණු කරනු ලබයි. ඒ සඳහා මෙම සටහනේ As (Ascendant හෙවත් ලග්නය යන අරුතින්) දක්වා ඇත.
චක්‍රයක් තුල ග්‍රහයන් පිහිටවීමේදී ග්‍රහයන් රතු පාටින් දැක්වීම වඩාත් යෝග්‍යයි. ග්‍රහයන් තුල ඇති ජීව ශක්තිය එයින් සංකේතවත් කරයි.

No comments:

Post a Comment