විවාහයට බලපෑම් ඇති කරන කුජගෙන් යෙදෙන දෝෂ

විවාහයට හා ආයුෂ සඳහා බලපෑම් ඈතිකරන යෝග අතර වෛධව්‍ය යෝග ප‍්‍රභල වේ. වෛධව්‍ය යෝග ඇති වන ආකාර කිහිපයක් ඇත

ඒවායින් ශනි-මංගල යෝගය හා භෞම ද්‍යෝෂ සඳහා කෙලින්ම සම්බන්ධ වන්නේ කුජ ග‍්‍රහයායි. ශනි-මංගල යෝගය විවාහයට ඉතා නුසුදුසු බව සඳහන් වේ. විවාහයකදී පොරොන්දම් සියල්ලම ගැලපුන ද මෙම ශනි-මංගල යෝගය යෙදී ඇත්නම් එම විවාහය නිර්දේශ කළ නොහැකිය.
එවැනි දෝෂයක් ඇති විට විවාහය වෙන් වීමකින් අවසන් වන බව පැරණි පොත පතෙහි සඳහන් වේ.එම වෙන්වීම දික්කසාදයක් හෝ මරණයක් වැනි අවාසනාවන්ත දෙයක් වීමටද පුළුවනි. එක් අයෙකුගේ කේන්ද්‍රයේ ශනි හා කුජ එකට සිටීම හෝ අන්‍යෝන්‍ය දෘෂ්ටියන් සම්බන්ධ වී සිටියහොත් අනෙක් කේන්ද්‍රයේද එවැනිම පිහිටීමක් තිබිය යුතු වේ. නො එසේනම් එවැනි දෙදෙනෙකුගේ විවාහ වීම අනුමත කළ නොහැකිය. කුජ සම්බන්ධ වන අනෙක් දෝෂය නම් භෞම දෝෂයයි. ලග්නයෙන් 1,2,4,7,8,12 යන රාශියක කුජ සිටීම භෞම දෝෂයයි.

එසේම ඊට වඩා ප‍්‍රභල භෞම දෝෂයක් චන්ද්‍රයාගෙන් යෙදේ.එනම් චන්ද්‍රයාගෙන් 1,2,4,7,8,12 යන රාශියක කුජ සිටීමයි. සිකුරුගෙන් 1,2,4,7,8,12 රාශියක කුජ වී නම් ඊටත් වඩා ප‍්‍රභල භෞම දෝෂයකි. මෙහිදී ආයුෂ පිළිබඳව වැදගත් පිහිටීමක් වනුයේ කුජ 8 හි පිහිටීමයි. කේන්ද්‍රයක 8 වන භාවය ආයුෂ හා මරණය පිළිබඳ වැදගත් භාවයක් වේ. එහි කුජ පිහිටීම මගින් ආයුෂ කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරයි.

කේන්ද්‍රයක කුජ දෝෂයක් දුටු පමණින් නිගමන වලට එළඹීම සුදුසු නොවේ. කුජගෙන් යෙදෙන දෝෂය භංග වන අවස්ථා බොහොමයක් පවතී. කුජ යම් රාශියක උච්චව, නීචව හෝ ස්වක්ෂේත‍්‍රව සිටි විට කුජගෙන් යෙදෙන භෞම දෝෂ නොයෙදේ. එනම් කුජ තමාගේ රාශි වන මේෂ හා වෘශ්චික රාශි වලට ස්වක්ෂේත‍්‍ර වේ. එවිට භෞම දෝෂ භංග වේ. මකර රාශියට කුජ උච්ච වේ. කටක රාශිටයට කුජ නීච වේ. එබැවින් කුජ මේෂ, වෘශ්චික , මකර හා කටක රාශි වල සිටීනම් භෞම දෝෂ නොයෙදේ. කුජ, ගුරු, බුධ හෝ බලවත්ව සිටින චන්ද්‍රයා සමග සංයෝගව තිබීම මගින් හා ඔවුන්ගේ දෘෂ්ටි කුජට වැටීම නිසාද භෞම දෝෂ භංග වේ. නමුත් එය හත්වන භාවයට අදාල නොවේ. එනම් හත්වැන්නේ නොවී ගුරු, බුධ හෝ බලවත්ව සිටින චන්ද්‍රයා සමග සංයෝගව තිබීම මගින් හා ඔවුන්ගේ දෘෂ්ටි කුජට වැටීම නිසාද භෞම දෝෂ භංග වේ. කේන්ද්‍ර දෙකෙහිම එකම ස්ථානයක කුජ සිටීමද ශුභ වේ. කුජ හත්වැන්නේ නොවී චර රාශියක සිටීම තුලින් හා සිංහ , කටක, ධනු, මීන යන රාශියක වීම මගින් ද භෞම දෝෂ භංග වේ. කුජගේ නෛසර්ගික වයස වසර 29 ක් පමණ වේ.  එම වයස ඉක්මවා ගිය පසු ද එම ග‍්‍රහයාගෙන් ලැබෙන ශුභ හෝ අශුභ එල ලබා දීමේ හැකියාව අඩු වේ. කුජ දෝෂ භංග වන තවත් අවස්ථා බොහොමයක් පැරණි පොත පතෙහි සඳහන් වන බැවින් දක්ෂ ඡ්‍යෝතීර්වේදියකු ලවා පොරොන්දම් පරීක්ෂා කරවා ගැනීම වඩා සුදුසු වේ.